ගාල්ල බන්ධනාගාරයේ මේ වනවිට පවතින විශාල තදබදය නිසා රැඳවියන් මෙන්ම නිලධාරීන් ද මහත් අපහසුවට පත්ව සිටින බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් විමසූවිට කියා සිටියේ 350 දෙනකු රැඳවා තැබීමට පහසුකම් තිබෙන බන්ධනාගාරයේ මේ වනවිට 1907 දෙනකු රඳවා සිටින බවය. එම පිරිසෙන් 88 දෙනකු කාන්තා රැඳවියන් වන අතර 1819 දෙනෙක් පිරිමි රැඳවියෝ වෙති.
මෙයට පෙර පැවැති ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් කිහිපයක දීම බන්ධනාගාරය මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට යෝජනා කළ ද එය ක්රියාත්මක වූයේ නැත. මේ නිසා බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් රැසක් ද සහ හමුදා සෙබළුන් කිහිපදෙනකු ද සේවයේ යොදා ඇත.














