සියඹලාණ්ඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතිමලේ කොටියාගල ප්රදේශයේ ගම්මානවලට වන අලින් කඩාවැදීම නිසා ගම්වාසීන්ට විවිධ හිරිහැරවලට මුහුණ පෑමට සිදුව ඇත.
කොටියාගල දෙව්පුදගම මාර්ගයේදී යතුරුපැදියකින් යමින් සිටි තරුණයින් දෙදෙනකුට ගම් වැදී සිටි වන අලියකු හඹාවිත් පහර දී තිබේ. එහිදී ඔවුන් දෙදෙනා යතුරුපැදිය දමා පලා ගොස් ඇති අතර කුපිත වූ වන අලියා යතුරුපැදිය පොඩිකර පාගා දමා ඇත. කෙසේ වෙතත්, තරුණයෝ දිව ගොස් දිවි බේරාගෙන ඇත.
මේ දිනවල ප්රදේශයට පවතින දැඩි නියඟය හේතුවෙන් ඇළ දොළවල් සිඳී යෑම නිසා සවස 5.00 පමණ වන විට ජලය සහ ආහාර සොයා වන අලි ගම් වදිති.
මීට මාසයකට පමණ ඉහතදී කොටියාගලදී වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක නිලධාරියකු සහ ගම්වැසියකු වන අලි පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ. කොටියාගල කරකොළගස්පිටිය විලඔය මාර්ගය දෙපස කැලෑව සියඹලාණ්ඩුව ප්රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් එළිපෙහෙළි කළද එම ප්රදේශයෙන් වන අලි සවස සිට ගම් වදිති.
දෙව්පුද ගමට යන මාර්ගයේ නවදණ්ඩආර ප්රදේශ කොටස සහ එම කුඹුරු යායද අවදානම් තත්ත්වයට පත්ව ඇත. එසේම කොඩයාන සිට කොටියාගල දක්වා ගමන් ගන්නා මාර්ගයේ වත්තේගම වලස්ගල කන්ද ප්රදේශය නිරන්තරයෙන් වන අලි ගැවසෙන අතර කොටියාගල කම්මල් යාය මාර්ගය අක්කර 100 ප්රදේශය සහ කොටියාගල පාසල් අවට ප්රදේශය වන අලි නිතර ගැවසෙන බව ප්රදේශවාසීහු පවසති.
මෙම වන අලි ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙස ප්රදේශවාසීහු වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














