මේ වසර අවසන් වීමට පෙර සියලුම ධීවර නිලධාරීන්ට විදුලි යතුරුපැදි (Electric Motorcycle) ලබා දීමට බලාපොරොත්තු වන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
ධීවර ක්ෂේත්රයේ පත්වීම් ලිපි 112ක් ප්‍රධානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අද පත්වීම් ලබාගත් කිසිවෙකුත් අප අමතා ඉල්ලීම් කළේ නැහැ. දේශපාලන නිර්දේශ මත බඳවා ගැනීම් සිදු කරන්නේද නැහැ. සියලුම පත්වීම් බඳවාගැනීමේ පටිපාටි ක්‍රමානුකූලව අනුගමනය කර තිබෙනවා. මෙහිදී කිසිදු පක්ෂ භේදයක් පෙන්වා නැහැ; දක්ෂයින්ටම පත්වීම් ලබා දී තිබෙනවා. අද පත්වීම් ලබන ඔබ මෙම තත්ත්වයේම සැමදා රැඳී සිටින්නේ නැහැ. අනාගතයේදී ඔබට උසස්වීම් සහ වැටුප් වර්ධක හිමිවනු ඇත.
ඩිජිටල් ක්ෂේත්රය පිළිබඳ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ඔබට තිබෙනවා. ඔබට අවශ්‍ය පහසුකම් අපි සපයා දෙන්නෙමු. ඒවා භාවිත කරමින්, අපගේ ධීවරයින්ට ද ඩිජිටල් සහ නූතන තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දීමේ වැඩසටහන් ඔබ ඉදිරියට ගෙන යා යුතුයි.”
අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද තමා ඇතුළු පිරිස ප්‍රතික්ෂේප කර ඇතැයිද, ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරියද නාස්තියෙන් තොරව, ජනතාවගේ මුදල් ආරක්ෂිතව භාවිත කරමින් සිටින බවද පැවසූ ධීවර අමාත්‍යවරයා, අමාත්‍යවරුන්ට හිමි නිල නිවාස ලබාගත්තේ නැතැයිද අමතර ආරක්ෂාවක්ද ඉල්ලා නොසිටින්නේ යැයිද අවධාරණය කළේය.














