රජයේ රෝහල්වල පවතින ෆිල්ග්‍රැස්ටීම් (Filgrastim) එන්නත් හිඟය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, එම ක්ෂණික ඖෂධ හිඟය ඉදිරි සතියක් ඇතුළත විසඳීමට පියවර ගනිමින් සිටින බවයි.
මහරගම අපේක්ෂා රෝහලේ සහ අනෙකුත් රජයේ රෝහල්වල පිළිකා ප්‍රතිකාර, කිමෝතෙරපි සහ ඇටමිදුළු බද්ධ කිරීම් සඳහා භාවිත කරන මෙම ඖෂධයේ හිඟයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාක්‍ය රාසමානික්කම් මහතා මෙහිදී මතු කළේය. රෝහල්වල ඖෂධ නොමැති වීම නිසා රෝගීන්ට පෞද්ගලික ඖෂධ හල්වලින් රුපියල් 17,000ත් 23,000ත් අතර මුදලකට සහ ඇතැත් ප්‍රදේශවල රුපියල් 20,000ත් 30,000ත් අතර මිලකට එම එන්නත් මිලදී ගැනීමට සිදුවී ඇති බව ඔහු පැවසීය.
ජූලි මාසයේ සිට රෝහල්වල මෙම ඖෂධයේ හිඟයක් පවතින බව අමාත්‍යවරයා පිළිගත් අතර, එය විසඳීම සඳහා විශේෂ වෛද්‍ය කමිටුවක් පත් කර ඇති බවද සඳහන් කළේය. මෙම එන්නතේ වාර්ෂික අවශ්‍යතාවය 300,000ක් පමණ වන අතර, දෛනික අවශ්‍යතාවය 900කි. මහරගම අපේක්ෂා රෝහලේ මාසික අවශ්‍යතාවය 9,750ක් පමණ වන අතර දෛනික අවශ්‍යතාවය 325ක් පමණ වේ.
2026 වසර සඳහා වූ ඇණවුම 2025 ජනවාරි මාසයේදී ලබා දී තිබූ අතර, 2027 වසර සඳහා වන ඇණවුමෙන් එන්නත් 160,000ක් මේ වසරේ මැයි මාසයේදී චීනයෙන් ගෙන්වා ඇත. කෙසේ වෙතත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රසම්පාදන නීතිවලට අනුව එන්නත් සිරින්ජය මත නිසි පරිදි ලේබල් කර නොතිබීම හේතුවෙන් ඒවා බෙදාහැරීමේ ප්‍රමාදයක් සිදුවී තිබේ. සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ ඖෂධ ගෙන්වීමට සති 6ක් පමණ ගත වන බැවින්, වහාම ගුවන් භාණ්ඩ මඟින් ඖෂධ ගෙන්වා ගැනීමට උපදෙස් දී ඇති අතර, ඉදිරි සතිය තුළ මෙම හිඟය සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රජයේ රෝහල්වල ෆිල්ග්‍රැස්ටීම් තොග අඛණ්ඩව නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, අනාගතයේදී මෙවැනි හිඟයන් ඇතිවීම වැළැක්වීම සඳහා දිගුකාලීන ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙසත් මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
















