පාකිස්ථානයේ අගනුවර ක්‍රියාත්මක වූ මහා පරිමාණ සයිබර් වංචනික ඇමතුම් මධ්‍යස්ථානයක් වැටලීමෙන් චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් 258ක් අත්අඩංගුවට
පාකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් ඉස්ලාමාබාද් නගර මායිමේ ගුල්බර්ග් ග්‍රීන්ස් නේවාසික ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ජාවාරම් ජාලයක් මෙලෙස වටලා තිබෙන අතර, සංචාරක වීසා මත එරටට ඇතුළු වී මෙම මූල්‍ය වංචාවන්හි නිරත වීම රටේ අභ්‍යන්තර ආරක්ෂාවට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල වූ බරපතළ අභියෝගයක් ලෙස විමර්ශන අංශ පෙන්වා දෙයි.
අත්අඩංගුවට පත් පිරිස අතර වියට්නාම ජාතිකයන් 170 දෙනෙකු, චීන ජාතිකයන් 40 දෙනෙකු සහ මැලේසියාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක වැසියන් වන අතර, පසුගිය වසරේ ජූලි මාසයේදීද මෙවැනිම ආකාරයේ පොන්සි ක්‍රමවේද සහ ආයෝජන වංචා සිදුකළ ජාලයක් කොටුකර ගැනීමත් සමඟ ජාත්‍යන්තර අපරාධ කණ්ඩායම් පාකිස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙවැනි ජාවාරම් අඛණ්ඩව පවත්වාගෙන යන බවට තහවුරු වී තිබේ.
අදාළ සැකකරුවන් මේ වන විට රාවල්පින්ඩි බන්ධනාගාරයේ රඳවා තබා ඇති අතර, ඔවුන්ගේ තානාපති කාර්යාල දැනුවත් කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන අවසානයේදී සියලු වැරදිකරුවන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග යටතේ රටින් පිටුවහල් කිරීමට නියමිතව ඇත.
















