රට තුළ අඛණ්ඩව මතුවන ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා ප්‍රජා දායකත්වය සහ සක්‍රීය සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, සන්නිවේදන මූලධර්ම මත පදනම් වූ නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතියක් හෙට දින සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, සාම්ප්‍රදායික මර්දන ක්‍රමවලින් ඔබ්බට ගොස් ජනතාවගේ චර්යාත්මක වෙනසක් ඇති කිරීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කර ඇත.
මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හෙට පෙරවරු 9.00ට බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ඩෙංගු මර්දන වැඩසටහන් වඩාත් සාර්ථක කරගැනීම සඳහා ජනතාව තුළ ස්වයං විනයක් සහ වගකීමක් ගොඩනැගීමේ අරමුණින් මෙහිදී විශේෂ සමීක්ෂණයක්ද දියත් කිරීමට නියමිතව තිබේ.
රාජ්‍ය මැදිහත්වීම් පමණක් නොව ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය ද ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින්, මෙම නියමු ව්‍යාපෘතිය හරහා ලැබෙන ප්‍රතිඵල මත පදනම්ව ඉදිරියේදී දිවයින පුරා මෙම වැඩපිළිවෙළ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. මෙරට සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී ඇති මෙම සෞඛ්‍ය අභියෝගය ජයගැනීම සඳහා ජනතා මානසිකත්වය සහ හැසිරීම් රටාව ධනාත්මකව වෙනස් කරමින් ජාතික මට්ටමේ ස්ථාවර ප්‍රවේශයක් නිර්මාණය කිරීමට මෙමඟින් පුළුල් මංපෙත් විවර වනු ඇත.















