චීනය සහ දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා යහපත්, ස්ථාවර සහ තිරසර ලෙස සංවර්ධනය කිරීම සහතික කිරීම සඳහා දෙරටම පුළුල් උපායමාර්ගික දැක්මකින් කටයුතු කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී මහතා පෙන්වා දී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන වැං යී මහතා මෙම අදහස් පළ කළේ දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හ්යුන් මහතා හමුවූ අවස්ථාවේදීය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 34ක් සපිරෙන මෙම සන්ධිස්ථානයේදී, දෙරටේ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය වඩාත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමට චීනය සූදානම් බව හෙතෙම අවධාරණය කළේය.
දකුණු කොරියාව සිය මූලික අවශ්‍යතා පදනම් කර ගනිමින් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත්, අනෙකුත් රටවල් සමඟ ගැටුම් ඇති කර නොගෙන සමාන්තරව සබඳතා වර්ධනය කරගත යුතු බවත් චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත. එපමණක් නොව, ආර්ථික හා වෙළඳ සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් කෘත්‍රිම බුද්ධිය, හරිත පරිවර්තනය, ඩිජිටල් ආර්ථිකය මෙන්ම වැඩිහිටි ජනගහනය ආශ්‍රිත ආර්ථික අවස්ථා වැනි නව සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනාගත යුතු බව ඔහු සඳහන් කළේය. ඊට අමතරව, චීන-දකුණු කොරියානු නිදහස් වෙළඳ ගිවිසුමේ දෙවන අදියරේ සාකච්ඡා වේගවත් කිරීමේ අවශ්‍යතාව ද දෙපාර්ශ්වයම විසින් සාකච්ඡාවට භාජනය කර තිබේ.
මෙම හමුවේදී අදහස් දක්වමින් දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හ්යුන් මහතා ප්‍රකාශ කළේ, තම රට චීනය සමඟ සමීප ඉහළ මට්ටමේ හුවමාරු අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, උසස් තාක්ෂණය සහ යොවුන් හුවමාරු ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාව පුළුල් කිරීමටත් දැඩි කැමැත්තකින් පසුවන බවයි. කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අර්ථවත් භූමිකාවක් ඉටු කිරීමට චීනය සෑම විටම කැපවී සිටින බව වැං යී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















