ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් ‘වනාතේ චතූ’ නමින් ප්‍රකට අවිෂ්ක මධුෂාන් අබේගුණවර්ධන, පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ මිනීමැරුම් ඇතුළු අපරාධ ජාලය මෙහෙයවූ ප්‍රධානියා බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සහ ඩුබායි ජාතික ආරක්‍ෂක පොලිස් බළකාය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රසික් අල් කයිමා ප්‍රදේශයේ සුපිරි නිවසක සැඟවී සිටියදීය. ඔහු භාවිත කළ සුඛෝපභෝගී නිවස සහ මෝටර් රථයද මේ වන විට ඩුබායි පොලිස් භාරයට ගෙන ඇත.
ජාත්‍යන්තර පොලිස් රතු වරෙන්තු ලැබ සිටින මොහුට එරෙහිව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියන බදුර්දීන් නමැත්තා ඝාතනය කිරීම, මාලිගාවත්ත සහ වනාතමුල්ල ප්‍රදේශවල තරුණයින් ඝාතනය කිරීම, කඩුවෙල කොරතොටදී පුද්ගලයින් පිරිසකට පහර දී එක් අයෙකු ඝාතනය කිරීම, කොල්ලුපිටියේ සමාජ ශාලාවකදී තරුණයෙකුට වෙඩි තැබීම සහ වනාතේ බිම්සර නමැත්තාට වෙඩි තබා තුවාල කිරීම ඇතුළු මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේද ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති මොහු, ඩුබායිහි සිට එම අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති අතර, එරට නීතිමය කටයුතුවලින් අනතුරුව මොහුව හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරීන් පවසයි.
















