ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීමෙන් නීතියේ ආධිපත්‍යයට එල්ල වී ඇතැයි කියන බලපෑම සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත යෝජනාවක් බාර දී තිබෙනවා.
ස්ථාවර නියෝග 83(1) යටතේ බාර දුන් මෙම පූර්ණ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් විසිඑක් දෙනෙකු අත්සන් තබා ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය ආරක්ෂා කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය සුරක්ෂිත කිරීම සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය මූලධර්ම බව මෙමගින් අවධාරණය කර ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසට ද යෝජනා කර ඇති අතර, මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර විවාදයට ගැනීම සඳහා සුදුසු දිනයක් හා වේලාවක් නියම කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටී.
















