කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවැති එෆ්.එෆ්.එස්.එල්. සුපර් ලීග් (FFSL Super League 2025/26) පස්වන වටයේ අවසන් මහා තරගයේදී නිව් යංග්ස් එෆ්.සී. (New Youngs FC) කණ්ඩායමට එරෙහිව ගෝල 5ට 0ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බ්ලු ස්ටාර් එස්.සී. (Blue Star SC) කණ්ඩායම සමත් විය.
මෙම තරගයේදී අපූරු දස්කම් දැක්වූ බ්ලු ස්ටාර් කණ්ඩායමේ මධ්යපෙළ ක්රීඩක අවුඩූ ෆ්රන්කි (Aoudou Frnky) ගෝල තුනක් වාර්තා කරමින් හැට්රික් වාර්තාවකට හිමිකම් කීවේය. ඔහු තරගයේ 35, 76 සහ 90+2 වන විනාඩිවලදී මෙම ගෝල වාර්තා කළ අතර, මෙම වාරයේ සුපර් ලීගයේ හැට්රික් වාර්තා කළ පස්වන ක්රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක් විය.
තරගයේ ලකුණු සටහන ක්රියාත්මක කරමින් 21 වන විනාඩියේදී බ්ලු ස්ටාර් වෙනුවෙන් පළමු ගෝලය නාවෝද් විහංග අබේසිරි වාර්තා කළ අතර, 54 වන විනාඩියේදී මොහොමඩ් ශිෆාන් තවත් ගෝලයක් ලබා ගත්තේය. අවුඩූ ෆ්රන්කිගේ ගෝල හැට්රික් වාර්තාව සමඟින් බ්ලු ස්ටාර් කණ්ඩායම තරගය ගෝල 5-0ක් ලෙස අවසන් කළේය. මේ වන විට සුපර් ලීගයේ තරග 25ක් අවසන් වී ඇති අතර, හයවන වටයේ තරග අගෝස්තු 21 සිට 25 දක්වා පැවැත්වීමට නියමිතය.















