ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) ලාංජනය නොමැතිව ආරක්ෂිත හිස් වැසුම් (හෙල්මට්) විකිණීම සහ විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ වෙළඳසලක හිමිකරුවෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කර තිබේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මාළිගාවත්ත පෙදෙසේ පදිංචි මොහොමඩ් හලීල් මොහමඩ් මසරික් යන අයෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි. 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ, වාහන භාවිතා කරන්නන් සඳහා වන ආරක්ෂිත හිස් වැසුම් සඳහා SLS 517 ප්‍රමිති සහතික ලාංජනය අනිවාර්ය කර තිබියදී, එම ලාංජනය නොමැති ‘LSS’ නාමය දරන ආරක්ෂිත හිස් වැසුමක් රුපියල් 1900ක මිලකට විකිණීම මෙම වරදට හේතු වී ඇත.














