කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඩී.එන්.ඒ, ඡායාරූප සටහන් සහ වීඩියෝ දර්ශන පරීක්ෂා කර වාර්තා ලබාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද (21) දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව කරුණු දැක්වූ පොලිසිය, 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි යාපනය හරහා මන්නාරමට පලා යාමට සහාය වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඕමාන්වලදී අත්අඩංගුවට ගත් ‘මට්ටක්කුලියේ චතු’ නමැත්තා ද දින 90 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවත් පැවසීය. ඝාතනයට පෙර දින ඉෂාරා සෙව්වන්දි සමඟ පැමිණ අධිකරණ පරිශ්‍රය නිරීක්ෂණය කර ඇත්තේ ‘කෙහෙල්බද්දර පද්මේ’ ලබා දුන් මුදල් මත බව ද හෙළි වී ඇත.
එසේම, 28 වන සැකකාරිය වන නීතිඥවරියගේ හැඳුනුම්පත උපයෝගී කරගනිමින් මෙම අපරාධය සිදුකර ඇති බවට රස පරීක්ෂක වාර්තා මඟින් තහවුරු වී තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් කැඳවමින් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් ලබන සෙප්තැම්බර් 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.














