ජාතික ජන බලවේගයේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙළක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය අදහස් දැක්වූවාය. වසම් 72ක් ආවරණය වන පරිදි කාන්තා සභා ද ඇතුළුව සියලු අංශ සම්බන්ධ කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඇය සඳහන් කළාය. ලබන 5 වනදා අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන මෙම ප්‍රචාරණ ව්‍යාපාරය පිළිබඳව ඇය මෙහිදී කරුණු පැහැදිලි කළාය.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ, දැනට පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ සූදානමක් නොමැති බවයි. එසේ තිබියදීත් ජාතික ජන බලවේගය මෙවැනි ප්‍රචාරණ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ ඇයිද යන්න පිළිබඳව ඇය මෙසේ පැහැදිලි කළාය.
“අපි දකිනවා වර්තමාන දේශපාලනය ඇතුළේ විපක්ෂය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව. සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ දිලිත් ජයවීර වැනි අය අලුතින් දේශපාලන පක්ෂ නිර්මාණය කරගෙන සිටියත්, එය ප්‍රබල විපක්ෂයක් නොව සුළු පක්ෂ එකතුවක් පමණයි,” යැයි ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද හමුවක් අමතමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළාය.
















