ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය වන parliament.lk, BestWeb.LK 2026 සම්මාන උළෙලේදී හොඳම රජයේ වෙබ් අඩවියට හිමි රන් සම්මානය (Gold) සහ සමස්ත කාණ්ඩයේ රිදී සම්මානය (Silver) දිනා ගැනීමට සමත්ව තිබේ. එමඟින් එය ජාතික මට්ටමින් දෙවන ස්ථානයට පත්ව ඇත.
එල්.කේ. ඩොමේන් රෙජිස්ට්‍රාර් (LK Domain Registry) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරඟයේදී, පාර්ලිමේන්තු ව්‍යාපෘති කණ්ඩායම සහ ඩිජිටල් ඉංජිනේරු හා වෙබ් සංවර්ධන සමාගමක් වන TekGeeks (Pvt) Ltd ආයතනය සමඟ එක්ව මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත. පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් වඩාත් පහසුවෙන් ජනතාවට ලබා දීම සහ පුරවැසියන් හා ව්‍යවස්ථාදායකය අතර අන්තර්ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම මඟින් ‘විවෘත පාර්ලිමේන්තු’ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවාලීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබුණි.
මෙම වේදිකාව හරහා මහජනතාවට පාර්ලිමේන්තු කටයුතු තත්‍ය කාලීනව (Real-time) අනුගමනය කිරීමට සහ පවතින මෙන්ම අතීත ව්‍යවස්ථාදායක සාකච්ඡා පිළිබඳව තමන්ගේ අදහස් බෙදා ගැනීමට විශේෂ නාලිකාවක් ලබා දී ඇත. රජයේ අංශයේ ඩිජිටල් පාලනය සඳහා ආදර්ශයක් විය හැකි ලෝක මට්ටමේ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව TekGeeks කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් ගමගේ මහතා පැවසීය.
BestWeb.LK 2026 තරඟය සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ සංවිධාන නියෝජනය කරමින් කාණ්ඩ 24ක් යටතේ අයැදුම්පත් ඉදිරිපත් කර තිබුණි.
















