පසුගිය පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දියණියක ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රාගම වල්පොල මාර්ගයේදී පාලනයෙන් ගිලිහුණු ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි කාර් රථයක සහ තවත් ලොරි රථයක ගැටී, මාර්ගය අයිනේ ගමන් කළ මවක සහ දරුවන් දෙදෙනෙකු මතට පතිත වීමෙන් සිදුවූ අනතුරින් 8 හැවිරිදි දියණියක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව, ඉපලෝගම අක්කර 500 කලාවැව මාර්ගයේ කුසලානගම ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 75 හැවිරිදි පසුපැදිකරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, ගණේමුල්ල පහළගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ 67 හැවිරිදි පදිකයෙකුගේ ගැටීමෙන්ද තවත් අයෙකු මියගොස් ඇත. යාපනය කිලිනොච්චිය මාර්ගයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් 18 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇති අතර, මාරවිල කටුනේරිය ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරින් පදිකයා මියගොස් ඇත. මියගිය පදිකයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.















