তরුණ දක්ෂතා පෝෂණය කිරීම, බාස්කට්බෝල් ක්‍රීඩාවට සහභාගී වීම වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකා ක්‍රීඩාවේ අනාගතය නඟා සිටුවීමේ අරමුණින් 2026 ශ්‍රී ලංකා පාසල් බාස්කට්බෝල් තරගාවලි සඳහා මහජන බැංකුව (People’s Bank) නිල අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වී තිබේ. කොළඹ 02 මහජන බැංකු කුළුණු ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී මහජන බැංකුව සහ ශ්‍රී ලංකා පාසල් බාස්කට්බෝල් සංගමය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදු විය.
මෙම අනුග්‍රාහකත්වය යටතේ මහජන බැංකුව විසින් 2026 වසර සඳහා වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ සහ 20න් පහළ කාණ්ඩ අනුග්‍රහය දක්වන අතර, පාසල් සිසුන් අතර බාස්කට්බෝල් ජනප්‍රිය කිරීම සඳහා විශේෂ සන්නිවේදන වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. දිවයින පුරා ජාතික, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් 120කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම ශූරතාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 80ක් පමණ සහ ගැහැණු කණ්ඩායම් 50ක් පමණ සමඟ ශිෂ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,950කට ආසන්න සංඛ්‍යාවක් තරඟ වැදීමට නියමිතය.
මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.ආර්. කාරියවසම්, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා සහ ශ්‍රී ලංකා පාසල් බාස්කට්බෝල් සංගමයේ සභාපති ඉරාන් චම්පික සිල්වා යන මහත්වරුන් ඇතුළු ආයතනවල විධායක නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ආරාධිතයන් රැසක් සහභාගී වූහ.
















