කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතා සිදුකළ අත්තනෝමතික ස්ථානමාරුවට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නොමැති බැවින්, සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරිපාලනය වෙත ලබාදෙන සියලු ආකාරයේ දත්ත සහ වාර්තා සැපයීම මෙන්ම දත්ත පද්ධති යථාවත් කිරීම (Data systems updating) සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට නියමිතය. මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදිනෙක දත්ත පද්ධති වෙත යථාවත් නොකරන බවද ඔවුන් අවධාරණය කර සිටී.
එමෙන්ම, අදාළ ස්ථානමාරුව වහාම අවලංගු කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින අතර, කොළඹ වරාය සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුමත සේවක සංඛ්‍යාව අඩු කිරීමට ගෙන යන උත්සාහය ද දැඩි ලෙස හෙළා දකින බව වැඩබලන සභාපති සහ ලේකම්වරයා සඳහන් කරති. කෙසේ වෙතත්, සාධාරණ පරීක්ෂණයක් සඳහා පූර්ණ සහය ලබාදීමට සහ ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බවද ඔවුන් දන්වා සිටිති.
















