අස්වැසුම ප්රතිලාභ සඳහා අයදුම් කර එය නොලද සහ අස්වැසුම ගිණුමට මුදල් බැර නොවූ වතුකරයේ විශාල පිරිසක් අද (24) දින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පවතින අයහපත් කාලගුණයද නොතකා දැඩි අපහසුතා මැද රැදී සිටිනු දක්නට ලැබුණි. සතියේ සඳුදා දින පමණක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අයදුම්කරුවන්ට සහ අස්වැසුම ගිණුම්වලට මුදල් නොලද අයට එම ගිණුම් පරීක්ෂා කර ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් ඔවුන්ගේ ගිණුමට බැර නොකර එම කාර්යාලවල නිලධාරීන් විසින් සිදු කරන ලද මූල්‍ය වංචාවක් නිසා මෙසේ අස්වැසුම අයදුම්කරුවන් සහ ප්‍රතිලාභීන් තම ගිණුම් පරීක්ෂා කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ සිටින බවයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නව නාම ලේඛනයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සියලුම ග්‍රාම නිලධාරී බල ප්‍රදේශවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 සැප්තැම්බර් මස මුල් සතියේ සිට ප්‍රදර්ශනය කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය.
















