අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය” යටතේ 2026/2027 අධ්‍යයන වර්ෂයට අදාළ 11 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
මේ යටතේ 2023, 2024 සහ 2025 වර්ෂවලදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට රජය විසින් අනුමත කරන ලද පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 16 ක් මගින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා 130 කට වැඩි සංඛ්‍යාවක් හැදෑරීමට අවස්ථාව හිමිවේ. ඉංජිනේරු හා තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, වාණිජ මෙන්ම මානව හා ශාස්ත්‍රීය යන විෂය ධාරාවන් යටතේ මෙම පාඨමාලා සංවිධානය කර ඇත.
අදාළ උසස් පෙළ විභාගවලදී ප්‍රධාන විෂයන් තුනටම අවම වශයෙන් “S” සාමාර්ථ තුනක් ලැබීම, සාමාන්‍ය පොදු පරීක්ෂණයට ලකුණු 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා තිබීම සහ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ඉංග්‍රීසි විෂයට අවම වශයෙන් “S” සාමාර්ථයක් තිබීම මෙම ශිෂ්‍ය ණය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම් වේ.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන 2026 සැප්තැම්බර් 27 වන දිනට අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 25 නොඉක්මවිය යුතු අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී (දුරකථන: 0714100524) ඇතුළු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාගත හැකිය.
















