ශ්‍රී ලංකාවේ පාසල් පෝෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහාය තහවුරු කිරීමට ලෝක ආහාර වැඩසටහන (WFP) පියවර ගෙන තිබේ. අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට පැමිණ ඇත.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, පාසල් දරුවන්ට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පමණක් සීමා නොවී, යහපත් ආහාර රටාවන් සහ පෝෂණ දැනුවත්භාවය වර්ධනය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවයි. එසේම වර්තමානයේ ඉහළ යමින් පවතින බෝ නොවන රෝග (NCDs) පාලනය සඳහා මුල් ළමාවිය සිටම නිවැරදි පෝෂණ අභ්‍යාස හඳුන්වාදීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය. රජයේ මෙම පිළිවෙත අගය කළ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ, පර්යේෂණාත්මක පදනමකින් යුතුව පාසල් පද්ධතිය තුළ පෝෂණ වැඩසටහන් ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දක්වන බව ප්‍රකාශ කළහ.














