කොළඹ නගරය තුළ මෙට්‍රෝ බස් (Metro bus) සේවාව ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිරි සැප්තැම්බර් අග සිට බස් රථ 121 ම ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී ගාලු, මහනුවර සහ යාපනය යන නගරවලට ද ව්‍යාප්ත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පෞද්ගලික වාහන භාවිත කරන පිරිස් පොදු ප්‍රවාහනය වෙත යොමු කරවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි. ඒ අනුව කොළඹ හඳුනාගත් බස් නැවතුම්පොළ 240 ආසන්නයේ සිය පෞද්ගලික වාහන ගාල් කර මෙට්‍රෝ බස් රථ වෙත මාරු විය හැකි “Park-and-Ride” ක්‍රමය හඳුන්වා දෙන අතර, ඒ සඳහා අවශ්‍ය රථගාල් පහසුකම් සපයන ලෙස පළාත් පාලන ආයතනවලින් සහ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය (UDA) මඟින් ඉදිරි මාස කිහිපය තුළ රථගාල්වල ඉඩකඩ පිළිබඳ තොරතුරු සජීවීව (Real-time) බලාගත හැකි ජංගම දුරකථන යෙදවුමක් (App) ද හඳුන්වා දීමට නියමිතය.














