වසරකට අධික කාලයක් පැවැති තහනමින් පසු මෙක්සිකෝවෙන් ගවයින් ආනයනය කිරීම අදියර කිහිපයකින් යළි ආරම්භ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ. පළමු අදියර යටතේ ඇරිසෝනා (Arizona) ප්‍රාන්තය ඔස්සේ ගවයින් ඇතුළු කර ගැනීමට අවසර හිමිවන අතර, ඉදිරියේදී නිව් මෙක්සිකෝ (New Mexico) හි වරායන් වෙත ද එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, මෙක්සිකෝවේ උතුරු ප්‍රදේශයේ “මස් කන පණුවන්” ලෙස හඳුන්වන New World Screwworm පරපෝෂිතයන් බෝවීමේ සිදුවීම් 67 කට වඩා වාර්තා වී තිබීමත්, ඇමෙරිකාවේ ටෙක්සාස් සහ නිව් මෙක්සිකෝ ප්‍රාන්තවලින් ද එම පරපෝෂිතයන් හමුවී තිබීමත් නිසා ගවයින් ආනයනය යළි ඇරඹීම මඟින් දැඩි අවදානමක් මතුවිය හැකි බවට ඇමෙරිකානු ගොවිජන සංවිධාන සහ ප්‍රාන්ත බලධාරීන් අනතුරු අඟවයි. මෙම පරපෝෂිත තර්ජනය මර්දනය කිරීම සඳහා මෙක්සිකෝවේ චියාපාස් (Chiapas) හි පිහිටි මධ්‍යස්ථානයකින් වඳ කළ මැස්සන් (sterile flies) මුදාහැරීමේ විශේෂ මෙහෙයුමක් ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















