ශ්‍රී ලංකාව තුළ විදේශීය සෘජු ආයෝජන (FDI) ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර වෙළඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් සංවිධානය කරන ‘ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026’ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ හමුවක් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී පැවැත්විණි.
ලංකා වාණිජ මණ්ඩලය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව මෙය සංවිධානය කර තිබූ අතර, ඊට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් එක්ව සිටියහ. ශ්‍රී ලංකාව කලාපීය ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
















