එළඹෙන වසරේ මුල් භාගයේදී ඇති විය හැකි එල්-නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ජල විදුලි උත්පාදනය පහළ යාම නිසා මතු වන මෙගාවොට් 450 ක පමණ විදුලි හිඟයට පිළියමක් ලෙස, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පද්ධතියට එකතු කරගැනීමේ නව පෝෂක ගාස්තු ක්‍රමවේදය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කර තිබේ.
2026 අගෝස්තු 25 වැනි දින සිට 2027 පෙබරවාරි 24 දක්වා මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි හඳුන්වා දී ඇති මෙම නව ගාස්තු සංශෝධනය යටතේ කුඩා ජල විදුලි, සුළං, ජෛව ස්කන්ධ මෙන්ම භූමිය මත, පාවෙන සහ වහල මත සවි කරන සූර්ය බලාගාර සඳහා විශේෂ ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම විදුලි පද්ධතියේ ස්ථායිතාව වෙනුවෙන් රාත්‍රී කාලයේදී විදුලිය සැපයිය හැකි බැටරි ගබඩා සහිත සූර්ය බලාගාර සඳහා ඉහළ ගාස්තුවක් අනුමත කර ඇති අතර, මෙරට විදුලි පද්ධතියට අවශ්‍ය බැටරි ගබඩා සහ පුනර්ජනනීය ධාරිතාව කඩිනමින් එක් කරගනිමින් අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම සහ ඩීසල් තාප විදුලි ජනනය මත යැපීම අවම කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.















