පුත්තලම කලපුවේ ලවණ මිශ්‍ර මඳ සුළඟත්, ජලජ ජීවීන්ගේ ජීවන රටාවත් අතර විහිදුණු කරඹේ කඩොලාන රක්ෂිත වනය, මෙරට වෙරළබඩ පරිසර පද්ධති සංරක්ෂණයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ජගත් කඩොලාන දිනයට සමගාමීව මෙම වනාන්තරය රක්ෂිතයක් ලෙස නිල වශයෙන් ආරක්ෂා කිරීමට හැකිවීම මෙරට පරිසර සංරක්ෂණයේ මහත් ජයග්‍රහණයකි.
පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම් කරමින් හෙක්ටයාර් 76.82 ක සුවිසල් භූමි භාගයක පැතිර ඇති මෙම පරිසර කලාපය, ශ්‍රී ලංකාවේ කඩොලාන වනාන්තරයක් නිල වශයෙන් සංරක්ෂිත තත්ත්වයට පත් කරමින් නීතිමය ආරක්ෂාව තහවුරු කළ පුරෝගාමී අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වේ.
කරඹේ කඩොලාන පද්ධතියේ වැදගත්කම සහ පරිසර දායකත්වය:
මුහුදු රළ, සැඩ සුළං සහ ඛාදනය හමුවේ නොසැලී සිටිමින් ගොඩබිම ආරක්ෂා කරන ස්වභාවික පවුරක් ලෙස මෙම කඩොලාන පද්ධතිය ක්‍රියා කරයි.
මත්ස්‍යයන්, ඉස්සන්, කකුළුවන් ඇතුළු කලපු ආශ්‍රිත ජලජ ජීවීන්ට බිත්තර දැමීමටත්, උන්ගේ පැටවුන්ට ආරක්ෂිතව වැඩීමටත් අවශ්‍ය තවානක් (Nursery Ground) නිර්මාණය කරන්නේ මෙම මුල් ජාලයයි.
ගොඩබිම් වනාන්තරවලට වඩා කිහිප ගුණයකින් කාබන් අවශෝෂණය කර ගැනීමේ අද්විතීය හැකියාවක් ඇති කරඹේ කඩොලාන පද්ධතිය, ගෝලීය දේශගුණික විපර්යාස අවම කිරීමෙහිලා ප්‍රබල දායකත්වයක් සපයයි.
දුර්ලභ සංක්‍රමණික හා දේශීය පක්ෂි විශේෂ රැසකගේ ලැගුම්පොළක් වන අතරම, සංවේදී උභයජීවී, උරග සහ ක්ෂීරපායී විශේෂ ගණනාවකට ස්වභාවික රැකවරණය සලසයි.
කරඹේ කඩොලාන පද්ධතිය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හුදෙක් සීමා මායිම් ලකුණු කිරීමක් පමණක් නොව, මිනිසා සහ සොබාදහම අතර පවතින අන්‍යෝන්‍ය බැඳීම අනාගත පරපුර උදෙසා සුරැකීමට තැබූ ස්ථිරසාර පියවරකි.
















