ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීම සඳහා වූ යෝජනාවක් රජය මෙතෙක් සලකා බලා නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මීට පෙර වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ පාසල් අධ්‍යාපනය අතරමග හැර ගිය හෝ උසස් පෙළින් පසු අධ්‍යාපනය නතර කළ පිරිස් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමට විවිධ පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් විවිධ යෝජනා ලැබී ඇති නමුත්, ත්‍රිරෝද රථ වයස් සීමාව සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
“දැනට එහෙම වයස 40ද 50ද 60ද 30ද කියලා එහෙම තීන්දුවක් රජය අරන් නෑ,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















