චීනයේ බීජිං නුවර ජාතික ස්පීඩ් ස්කේටිං ඕවල් ක්‍රීඩාංගණයේදී ගෝලීය යන්ත්‍ර මානව හෙවත් හියුමනොයිඩ් (Humanoid) රොබෝ තාක්ෂණයේ අනාගතය ලොවටම විදහා දක්වන දෙවන ලෝක යන්ත්‍ර මානව රොබෝ ක්‍රීඩා උළෙල ඉතා සාර්ථකව පැවැත්වේ.
මහද්වීප හයක් නියෝජනය කරමින් රටවල් 16 කින් කණ්ඩායම් 666 ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වී සිටින අතර, තරග වදින රොබෝවරුන් සංඛ්‍යාව 2,000 කට අධිකය. පළමු තරගාවලියට සාපේක්ෂව මෙවර සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 138% කින් ඉහළ ගොස් ඇති අතර, රොබෝවරුන්ගේ සංඛ්‍යාව සිව් ගුණයකින් වැඩි වී තිබීම මෙම තාක්ෂණයේ ශීඝ්‍ර ව්‍යාප්තිය මනාව පෙන්නුම් කරයි.
මෙවර තරගාවලියේ කැපී පෙනෙනම දියුණුවක් ලෙස රොබෝවරුන්ගේ වේගය හැඳින්විය හැකිය. විශාල ප්‍රමාණයේ රොබෝවරුන්ගේ මීටර් 400 දිවීමේ තරගයේ රන් පදක්කම දිනාගත් රොබෝවා එම දුර තත්පර 38.15 කින් නිම කිරීමට සමත් විය. (පසුගිය වසරේ මෙම ඉසව්වේ ජයග්‍රාහී කාලය මිනිත්තු 1යි තත්පර 28.03ක් විය). කුඩා ප්‍රමාණයේ රොබෝවරුන්ගේ මීටර් 400 අවසන් තරගය තත්පර 45.66 කින් නිම කරමින් රන් පදක්කම දිනාගත් රොබෝවකුගේ අසාමාන්‍ය “ලැජ්ජාශීලී” (shy run) දිවීමේ ඉරියව්ව අන්තර්ජාලය තුළ දැඩි කතාබහට ලක්ව ඇත.
බැලූ බැල්මට එය හුරුබුහුටි දිවීමක් ලෙස පෙනުණද, ඊට පිටුපසින් ඇත්තේ ගැඹුරු විද්‍යාත්මක රහසකි. බීජිං යන්ත්‍ර මානව රොබෝ නවෝත්පාදන මධ්‍යස්ථානයේ ඇල්ගොරිතම විශේෂඥ හැන් ගැන්ග් පවසන පරිදි, වේගයෙන් අත් සෙලවීමෙන් උරහිස්වලට දැඩි බරක් පැටවී යන්ත්‍රය අධික ලෙස රත්වීමේ අවදානමක් මතු වේ. එබැවින් ගුරුත්ව කේන්ද්‍රය පහත් කර, අත් සෙලවීම අවම කර, සිරුරේ බර ඉදිරියට යොමු කරමින් වඩාත් කාර්යක්ෂමව දිවීමට රොබෝවා විසින්ම මෙම ඉරියව්ව ස්වයංක්‍රීයව ඉගෙනගෙන ඇත.
තරගාවලියේ වඩාත්ම විස්මිත සිදුවීම වාර්තා වූයේ මීටර් 1,500 දිවීමේ ඉසව්වෙනි. එහි අවසන් තරගය ජයගත් රොබෝවා එම දුර මිනිත්තු 2යි තත්පර 21.63 කින් නිම කළේය. එය මිනිත්තු 3යි තත්පර 26ක් ලෙස සටහන් වන මිනිසුන්ගේ මීටර් 1,500 ලෝක වාර්තාවට වඩා ඉතාමත් වේගවත් කාලයකි. මෙම තරගාවලිය හුදෙක් ප්‍රදර්ශනයක් පමණක් නොව, යන්ත්‍ර මානව රොබෝ තාක්ෂණය මහා පරිමාණ වාණිජ අවශ්‍යතා සඳහා යොදාගැනීමේ යුගයට ලෝකය රැගෙන යන ප්‍රබල පියවරක් වනු නිසැකය.
















