ජාතික හා ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන නිපුණතාවයෙන් යුත් ශ්‍රම බලකායක් බිහි කිරීම සඳහා වන කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව, රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ වන උපායමාර්ගික කුලුනක් ලෙස හඳුනා ගනු ලැබ තිබේ.
වර්තමානයේ රජයේ කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් පැවතිය ද, පුහුණු වැඩසටහන්වල අන්තර්ගතය සහ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා අතර පවතින නොගැළපීම හේතුවෙන් එම ක්ෂේත්‍රය තුළ විවිධ අභියෝගකාරී තත්ත්වයන් මතු වී ඇත. එම අභියෝග ජය ගනිමින් කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගුකාලීන සංවර්ධනයක් ඇති කිරීම පිණිස ප්‍රධාන මාර්ගෝපදේශයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය සහිතව 2026-2035 කාලසීමාව සඳහා කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය වෙනුවෙන් වන උපායමාර්ගික රාමුව සකස් කරනු ලැබ තිබේ.
එමෙන්ම, එකී උපායමාර්ගික රාමුවට අනුකූලව **‘නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහනක්’ (Skills Development System Transformation Programme)** ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන මඟින් උසස් පෙළ වෘත්තීය අධ්‍යාපන විෂය ධාරාව ශක්තිමත් කිරීම, වෘත්තීය අධ්‍යාපන පාලන ව්‍යුහය විධිමත් කිරීම, කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන වැඩසටහන්වල ගුණාත්මකභාවය හා අදාළත්වය ඉහළ නැංවීම, සමානාත්මතාවයෙන් යුත් ප්‍රවේශය පුළුල් කිරීම, පුහුණු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රයේ සහභාගිත්වය වැඩිදියුණු කිරීම, ඩිජිටල් පරිවර්තනය සිදු කිරීම සහ නිපුණතා සංවර්ධනය සඳහා තිරසර මූල්‍යකරණ යාන්ත්‍රණයන් හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගය ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ.
ඒ අනුව, කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනය හා පුහුණු අංශය සඳහා වූ උපායමාර්ගික රාමුව 2026-2035 කාලසීමාව සඳහා මෙරට කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයේ ජාතික උපායමාර්ගික මාර්ගෝපදේශය ලෙස පිළිගැනීමටත්, එම උපායමාර්ගික රාමුව සඳහා වන ‘නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන’ **2027-2031 කාලසීමාව** තුළ ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.














