ව්‍යාජ විවාහ සහතික භාවිත කරමින් පවුල් වීසා (Family Visas) යටතේ බංග්ලාදේශ කාන්තාවන් චීනයට රැගෙන යන මහා පරිමාණ මිනිස් ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ, විදේශිකයන් හා සිදුවන විවාහ නියාමනය දැඩි කිරීමට බංග්ලාදේශ නීති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සහාය ඇතිව පැවැති වැඩමුළුවකදී අනාවරණය වී ඇත්තේ 2020 සිට 2025 දක්වා කාලය තුළ බංග්ලාදේශ කාන්තාවන් 4,226 දෙනෙකු මෙලෙස පවුල් වීසා යටතේ චීනයට සංක්‍රමණය වී ඇති බවයි. ඩකා නුවර පිහිටි චීන තානාපති කාර්යාලය ද මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, නීතිවිරෝධී ලෙස බංග්ලාදේශයෙන් මනාලියන් සපයා ගැනීම හරහා මිනිස් ජාවාරම්, කප්පම් ගැනීම් සහ මූල්‍ය වංචාවලට ලක්විය හැකි බවට චීන පුරවැසියන්ට ද අනතුරු අඟවා ඇත.














