දිළිඳුකම තුරන් කර සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක ‘ප්‍රජාශක්ති’ වැඩසටහනේ 2026 වසරේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027 වසරේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී ‘ප්‍රජාශක්ති’ වැඩසටහන සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 25න් රුපියල් බිලියන 23ක ප්‍රතිපාදන යොදා ගනිමින් ව්‍යාපෘති 23,000ක් පමණ ක්‍රියාත්මක කර ඇති බවත්, එම සියලු ව්‍යාපෘති මේ වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අනාවරණය වී ඇත. තවත් මිලියන 2,000ක ප්‍රතිපාදන විශේෂ ආකෘතික ව්‍යාපෘති සහ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් සඳහා යොමු කර ඇති අතර, ග්‍රාමීය සංවර්ධන සැලැස්ම (VDP) ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ප්‍රජාශක්ති ජාතික දත්ත පද්ධතිය හරහා ක්‍රියාත්මක කිරීමටද මෙහිදී එකඟතාව පළ විය.














