ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර ආර්ථික හා වාණිජ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, බීරූට් සහ මවුන්ට් ලෙබනන් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය (CCIA-BML) සහ ලංකා වාණිජ මණ්ඩලය (CCC) අතර අවබෝධතා ගිවිසුමකට (MoU) බීරූට් නුවරදී අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර වාණිජ මණ්ඩල මට්ටමින් අත්සන් කරන ලද ප්‍රථම අවබෝධතා ගිවිසුම මෙය වන අතර, බීරූට් සහ මවුන්ට් ලෙබනන් වාණිජ මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන් විසින් මෙයට අත්සන් තබා ඇත. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති අනුර විතානගේ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ මෙම ගිවිසුම යටතේ වෙළෙඳාම, ආයෝජන, තාක්ෂණ හුවමාරුව, ඒකාබද්ධ ව්‍යාපාර දිරිමත් කිරීම සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් හුවමාරු කර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. වසර දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙන මෙම ගිවිසුම දෙරටේ පෞද්ගලික අංශය අතර ශක්තිමත් වාණිජ හවුල්කාරීත්වයකට මංපෙත් විවර කරනු ඇත.














