ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අඩු මිල ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් (Jetstar) ගුවන් සේවා සමාගම විසින් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රථම මංගල ගුවන් යානය මෙල්බර්න් නුව සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊයේ (25) රාත්‍රියේ පැමිණ තිබේ.
බෝයිං – 787 ඩ්‍රීම් ලයිනර් (Boeing 787 Dreamliner) වර්ගයේ මෙම ගුවන් යානය මගීන් 271 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 13 දෙනෙකු රැගෙන කටුනායකට ළඟා වූ අතර, එහිදී ගුවන් යානය වෙත ජල ආචාර පවත්වා උණුසුම් පිළිගැනීමක් ලබා දී ඇත. මෙම ගුවන් සේවය යටතේ සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල මෙල්බර්න් සහ කටුනායක අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර, එක් ගමන් වාරයක් සඳහා ගත වන කාලය පැය 10ක් පමණ වේ. මෙම මංගල ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති මැතිව් ඩක්වර්ත් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















