අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ලොව පුරා සිටින වීසා අපේක්ෂකයින් සඳහා වන වීසා හමුවීම් (Visa appointments) තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ලෝකයේ පිහිටි සියලුම අමෙරිකානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවල ගෝලීය පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත. අමෙරිකාවේ මහජන සුභසාධන ප්‍රතිලාභ මත යැපීමට ඉඩ ඇති අය හඳුනා ගැනීමට සහ වීසා අපේක්ෂකයින් වඩාත් පුළුල් හා ස්ථාවර ලෙස ඇගයීමට කොන්සල් නිලධාරීන්ට උපකාර කිරීම මෙම පුහුණුවේ අරමුණ වී තිබේ.
නීති විරෝධී සංක්‍රමණ නැවැත්වීම සහ අභ්‍යන්තර ආරක්ෂාව වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ට්‍රම්ප් රජය විසින් දැඩි සංක්‍රමණ මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස දැනටමත් සැලසුම් කර තිබූ වීසා සම්මුඛ පරීක්ෂණ නව දිනකදී යළි කැඳවන බවට අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇත. කෙසේ වෙතත්, මෙම දැඩි සංක්‍රමණ ප්‍රතිපත්ති සහ වීසා සීමා කිරීම් මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, ඒවා මඟින් භාෂණයේ නිදහස සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට එම සංවිධාන චෝදනා කරයි.














