වත්මන් රජයේ “උරුමයට ජීවයක්” වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙම වසර තුළ පමණක් ස්ථාන 100ක සංරක්ෂණ කටයුතු සිදුකරන බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අනුරාධපුර ඉපලෝගම, මානෑව කන්ද පුරාවිද්‍යා භූමියේ දී පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක දී පැවසී ය.
ශ්‍රී ලංකාවේ ඉහළ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමකින් යුතු රිටිගල, මානෑව කන්ද, අරන්කැලේ සහ මාලිගාතැන්න යන බෞද්ධ භාවනාරාම හතර යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා වන මූලික පියවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට ආරම්භ කර ඇත. එම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යෝජනාවලට අනුව මෙම ස්ථාන දැනටමත් තාවකාලික ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, නිසි ඇගයීම් ක්‍රමවේදයන් අවසන් කර මෙම ස්ථාන ලෝක උරුම ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂිතය.
මෙම වැඩසටහන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා අධ්‍යක්ෂ ප්‍රසන්න රත්නායක මහතා සඳහන් කළේ මෙම ස්ථාන පිළිබඳ මූලික ඇගයීම් වාර්තාව එළැඹෙන සැප්තැම්බර් මාසය වනවිට භාර දීමට කටයුතු යොදා ඇති බවයි. යුනෙස්කෝ ලෝක උරුම කමිටුව සමග සමස්ත සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවනු ලබන්නේ බෞද්ධ භාවනාරාම පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා ප්‍රමුඛ කණ්ඩායම විසිනි. ලෝකයේ වෙනත් කිසිදු රටක දැකිය නොහැකි මෙවැනි සුවිශේෂී භාවනාරාම ලෝක උරුම බවට පත්වීමෙන් ශ්‍රී ලංකාවට හිමිවන ජාත්‍යන්තර අවධානය තවත් ඉහළ යනු ඇත.
මේ වනවිට අනුරාධපුර පූජා නගරය, පොලොන්නරුව ඓතිහාසික නගරය, සීගිරිය ඓතිහාසික නගරය, මහනුවර පූජා නගරය ගාලු කොටුව ඇතුළත් පැරණි ගාලු නගරය, රන්ගිරි දඹුලු රාජමහා විහාරය යන ස්ථාන සංස්කෘතික ලෝක උරුම ලෙසත්, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශය හා සිංහරාජ වනාන්තරය යන ස්ථාන ස්වාභාවික ලෝක උරුම ලෙසත් යුනෙස්කෝව මගින් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්ථාන 08ක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
මෙම අවස්ථාවට හබිඩියාගම, උපුල්වැහැර ඇතුළු විහාරස්ථානවල නායක හිමිපාණන් වහන්සේලා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ, ලෝක උරුම කමිටුවේ උපදේශක ආචාර්ය ගාමිණී විජේසූරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා අධ්‍යක්ෂ ප්‍රසන්න රත්නායක, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමී රත්නායක, අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආර්.ජී.ජයතිලක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සංරක්ෂණ අංශ ප්‍රධානී නිරූපා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.














