සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වන, තම පියාට පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති බවට චෝදනා කරමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.
අම්බලන්ගොඩ පොලිස් ස්ථානයෙන් ලබා දී ඇති තොරතුරු අනුව, අදාළ වීඩියෝවේ පියා ලෙස හැඳින්වෙන වයස්ගත පුද්ගලයා 2026 අගෝස්තු 24 වන දින රාත්‍රියේ බීමත්ව අශෝබන ලෙස මාර්ගයේ සැරිසැරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු පලා යාමට උත්සාහ කර ඇති අතර, එහිදී බිම ඇඳ වැටීමෙන් සිදුවූ රුධිර වහනයක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බව පොලිසිය පවසයි.
පසුව අම්බලන්ගොඩ පොලිස් නිලධාරීන් විසින් 2026 අගෝස්තු 25 වන දින අදාළ සැකකරු බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බලපිටිය ගරු අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත. එහිදී සැකකරු ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ විශේෂ නියමයෙන්, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සහ අම්බලන්ගොඩ පොලිසිය අයත් ඇල්පිටිය කොට්ඨාසයෙන් බැහැර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. මීට අමතරව, අදාළ සිදුවීමට සම්බන්ධ නිලධාරියා ද මේ වන විට ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.














