දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලන තන්ත්රයේ පවතින අඩුපාඩු ප්‍රසිද්ධියේ පෙන්වා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ (SLRSMU) ප්‍රධාන ලේකම්වරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය වහාම ඉවත් කරගන්නා ලෙස ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන් ඉල්ී සිටී.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටලු සහ සේවක දුෂ්කරතා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට වෘත්තීය සමිතිවලට අයිතියක් ඇති බව පෙන්වා දෙන එම සංගමය, සංගමයේ නිලධාරියෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීම වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ උත්සාහයක් ලෙස දැකිය හැකි බව අවධාරණය කරයි. එලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිකුත් කර ඇති ලිපිය ඉවත් කරගැනීමට අපොහොසත් වුවහොත් සියලුම වෘත්තීය සමිති දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට ද ඔවුහු අනතුරු අඟවති.
මේ අතර, මෑතකදී සිදුවූ දුම්රිය එන්ජින් බිඳවැටීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ඉල්ලා සිටින අතර, පවතින තත්ත්වය සඳහා වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ද වගකිව යුතු බව එම සංගමයේ ප්‍රධාන ලේකම් කාසුන් චමර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.














