ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් (Jetstar) ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවා ආරම්භ කර ඇති අතර, එහි මංගල ගුවන් ගමන රැගත් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වීමෙන් පසු සාම්ප්‍රදායික ජල ආචාරයෙන් උත්සවාකාරයෙන් පිළිගනු ලැබීය. මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සවියක් වෙමින් ආරම්භ කර ඇති මෙම සේවය යටතේ මෙල්බර්න් හා කොළඹ අතර සතියකට සෘජු ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අතර, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙම සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් වරාය හා සිවිල් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. ජෙට්ස්ටාර් ගුවන් සේවයේ නියෝජිතයින් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී ඇති අතර, මෙම සෘජු ගුවන් ගමන් හරහා ඕස්ට්‍රේලියාවේ මෙන්ම නවසීලන්තයේ සංචාරකයින් ද වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇති බව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.














