ආයතන කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක සිට පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් දක්වා සේවාවේ පරිවර්තනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ ඖෂධවේදී තනතුර සඳහා උපාධිධාරීන් 142ක් අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාවට බඳවා ගැනීමේ ලිපි ප්රදානෝත්සවය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, ඊට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. විභාගය පවත්වා දින අටක් වැනි කෙටි කාලයක් තුළ තේරීම් ක්‍රියාවලිය අවසන් කර පුහුණු ලිපි ලබාදීමට හැකිවීම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව මනාව පිළිბිඹු කරන බව ඔහු පෙන්වා දුන්නේය. තෝරාගත් මෙම උපාධිධාරීන්ට එළඹෙන වර්ෂයේ පෙබරවාරි මස දෙවැනි සතිය වන විට ස්ථිර පත්වීම් ලබාදීමට අපේක්ෂා කරන අතර, බෝ නොවන රෝග, වසංගත රෝග, පෝෂණ ගැටලු සහ ඖෂධ සඳහා වාර්ෂිකව වැය කරන බිලියන 200ක පමණ මුදලට සාපේක්ෂව නිසි සෞඛ්‍ය ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














