මාලිමා රජය යටතේ මෙරට ගොවි ජනතාවට සහ සමස්ත වැඩකරන ජනතාවට හිමිව ඇත්තේ කුඩම්මාගේ සැලකිලි බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළ අතර, මැතිවරණ සමයේ ලබා දුන් ජනප්‍රිය පොරොන්දු සියල්ල මේ වන විට ක්‍රියාත්මක කිරීමට වත්මන් පාලනය අපොහොසත් වී ඇති බවත්, ඒ හරහා රටේ දරු පරපුර මෙන්ම යොවුන් පරපුර ද බරපතළ ආර්ථික පීඩනයකට හා අසහනයකට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.
රට තුළ දිනෙන් දින වර්ධනය වන දිළිඳුකම, සෘජු විදේශ ආයෝජන නොලැබී යාම හේතුවෙන් කර්මාන්තශාලා වැසී යාම සහ රැකියා අවස්ථා අහිමි වීම වැනි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ලක්ෂ 220ක ජනතාවක් දැඩි අසරණභාවයට පත්ව සිටින බවත්, වන අලි මිනිස් ගැටුම වැනි මූලික ජනතා ගැටලු පවා විසඳීමට රජය අසමත්වීම හමුවේ ඉදිරියේදී ජනතා විරෝධය තවදුරටත් උත්සන්න විය හැකි බවටත් මෙම තත්ත්වය අනාවරණය කරයි.
















