විවිධ වැරදි සහ අක්‍රමිකතාවලට සම්බන්ධ වීයැයි කියන නිලධාරීන් 461 දෙනකුගේ විභාග රාජකාරී තහනම් කර ඔවුන්ව අසාදු ලේඛනයට (Blacklist) ඇතුළත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
කෙසේ වෙතත්, අසාදු ලේඛනගත කරන ලද මෙම නිලධාරීන්ගේ තොරතුරු යළි විභාග රාජකාරී සඳහා පත්වීම් ලබාදීමේදී සලකා බැලීමක් සිදු කරන බවක් විගණනයේදී අනාවරණය වී නැතැයිද එම වාර්තාව පෙන්වා දෙයි.
විභාග රාජකාරි තහනම් කරන ලද නිලධාරීන් 461 දෙනාගෙන් 133 දෙනකුගේ ජාතික හැඳුනුම්පත් අංකයද, නිලධාරීන් 182 දෙනකුගේ වැඩ තහනම ආරම්භ කළ දිනයද අසාදු ලේඛනයේ ඇතුළත් කර නොතිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි. එසේම, පසුගිය වසරේ නොවැම්බර් 21 දිනැතිව වසර හතකට වැඩි කාලයක් අසාදු ලේඛනගත කළ නිලධාරීන්ගේ නම් ලේඛනයෙන් ඉවත් කර ඇති බවට මෙම වසරේ ජුනි 05 වැනි දින විගණකාධිපති වාර්තාවට පිළිතුරු ලබාදී තිබුණද, ලේඛනය පවත්වාගෙන යාමේ දුර්වලතා හේතුවෙන් එය සිදු කර ඇති බව විගණන නිලධාරීහු නිරීක්ෂණය කර ඇත.
මේ නිසා අසාදු ලේඛනගත කළ නිලධාරීන් අඛණ්ඩවම විභාග රාජකාරිවල නියැළීමෙන් වැළකී සිටියේ යැයි තහවුරු කරගත නොහැකි වූ බව ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් පවසයි.














