ෆීජි රාජ්‍යය සමඟ සීනි සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ හැකියාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේ පැවැත්වෙන UNCCD COP17 සමුළුවේ “භූමිය හා ජනතාවගේ දිනය” (Land & People Day) ට සමගාමීව, ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ ෆීජි රාජ්‍යයේ කෘෂිකර්ම, ජල මාර්ග සහ සීනි කර්මාන්ත අමාත්‍ය ටොමාසි ටුනාබුනා (Tomasi Tunabuna) යන මහත්වරුන් අතර මෙම ද්විපාර්ශ්වික හමුව සිදුව ඇත.
මෙම සාකච්ඡාවේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දෙරටට වැදගත් වන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුව තිබේ:
* **අගය එකතු කිරීමේ ක්‍රියාවලීන්:** ෆීජි රාජ්‍යයේ කෘෂිකර්මාන්තය කොකෝවා, පොල්, තේ සහ උක් වැනි ප්‍රධාන බෝග වගාවන් මත පදනම් වුවද, ප්‍රමාණවත් අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් සිදු නොවීම හේතුවෙන් අපේක්ෂිත ආදායම් සීමා වී ඇති බව ෆීජි අමාත්‍යවරයා පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ කොකෝවා, පොල් සහ තේ ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කර ඇති ආකාරය පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට ෆීජි නියෝජිතයෝ කැමැත්ත පළ කළහ.
* **සීනි අපනයන සහ වෙළෙඳපොළ අවස්ථා:** ෆීජි රාජ්‍යය ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සීනි සඳහා ගැනුම්කරුවන් සොයා ගන්නා බැවින්, ශ්‍රී ලංකාවට ද එම අවස්ථා සඳහා ප්‍රවේශ වීමට සහ සහයෝගීතාවක් ඇති කර ගැනීමට සහයෝගය ලබා දීමට ඔවුන් එකඟතාව පළ කර ඇත.
* **ඉදිරි සම්බන්ධීකරණය:** කර්මාන්ත අමාත්‍යාංශය හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින්, දෙරට අතර කෘෂිකාර්මික නව දැනුම, තාක්ෂණය සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට පරිසර අමාත්‍යවරයා ද සිය එකඟතාව පළ කර තිබේ.
“Restoring Land. Restoring Hope.” යන තේමාව යටතේ 2026 අගෝස්තු 17 සිට 28 දක්වා පැවැත්වෙන මෙම UNCCD COP17 සමුළුව හරහා කාන්තාරකරණය, භූමි හායනය සහ නියඟය වැනි ගෝලීය අභියෝගවලට තිරසාර විසඳුම් සෙවීම අපේක්ෂා කෙරේ.














