කිසිදු නව ආසාදිතයෙකු වාර්තා නොවී දින 42ක අනිවාර්ය කාල සීමාව සාර්ථකව පසුකිරීම හේතුවෙන් උගන්ඩාව ඉබෝලා රෝගයෙන් තොර රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නිවේදනය නිකුත් කළේය. වෛරසයේ ව්‍යාප්තිය සහ දත්ත විශ්ලේෂණය කරමින් උගන්ඩාව මීට මාතයකට පමණ ඉහතදී තවදුරටත් ඉබෝලා අවදානමක් නොමැති බවට ප්‍රකාශ කළද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර මාර්ගෝපදේශවලට අනුව නිල කාල සීමාව අවසන් වන තෙක් බලා සිටීමට සිදු වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ඩයනා අට්වීන් සඳහන් කළාය.
මෙම වසංගත සමයේදී උගන්ඩාවෙන් සමස්ත ඉබෝලා ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වූ අතර, එහිදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. අවසන් වරට තහවුරු කළ ආසාදිතයා ජුනි 21 වන දින වාර්තා වූ අතර, සුවය ලැබූ අවසන් රෝගියා ජූලි 16 වන දින රෝහලෙන් පිටව ගියේය.
කෙසේ වෙතත්, අසල්වැසි කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ (DRC) ඉබෝලා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. උගන්ඩාවට පනවා තිබූ සංචාරක සීමා වහාම ඉවත් කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියහ.
















