සේවා කාලය තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම්වලට සම්බන්ධ සංවේදී තොරතුරු බාහිර පාර්ශ්ව වෙත හෙළි කිරීම වැළැක්වීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දුම්රිය සේවයේ නියුතු ඇතැම් නිලධාරීන් සහ සේවකයන් විසින් සේවා කාලය තුළ සහ රාජකාරීවලට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී තොරතුරු අනාවරණය කිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙවැනි ක්‍රියාමාර්ග නිසා දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය දැඩි ලෙස අවදානමට ලක්වන බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
නව චක්‍රලේඛයට අනුව, දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් බාහිර පාර්ශ්වයන්ට හෝ මාධ්‍ය වෙත නිල තොරතුරු සැපයීමේ බලය ඇත්තේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට (GM), නිල මාධ්‍ය ප්‍රකාශකවරයාට සහ තොරතුරු නිලධාරියාට පමණි. මෙම උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ දැක්වේ.
















