රටේ හදවත බඳු වූ මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතිය සහ ස්වභාවික සම්පත් අඛණ්ඩව මුහුණපාන අභියෝග හමුවේ, එහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්වාධීන සහ විධිමත් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් කඩිනමින් පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. පූනාගල “නවෝදයාපුරම්” නව නිවාස ව්‍යාපෘතියේ නිවාස ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම තීරණාත්මක නිවේදනය නිකුත් කළ අතර, කඳුකරයේ සුරක්ෂිතතාව යනු සමස්ත රටේම අනාගතය තීරණය වන සාධකයක් බව අවධාරණය කළේය.
මෙම නව අධිකාරිය වෙත ජනතාවගේ ගැටලු විසඳීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, පාංශු සංරක්ෂණය මෙන්ම වන සංරක්ෂණ සහ වනජීවී බලතල ඇතුළු සමස්ත පාලන බලතල කේන්ද්‍රගත කිරීමට නියමිතය. විවිධ ආයතන අතර විසිරී පවතින බලතල එකම වහලක් යටට ගෙන ඒමේදී යම් යම් පරිපාලනමය වෙනස්වීම් සහ තනතුරු මාරුවීම් සිදු වුවද, ජාතික වගකීමක් ලෙස සලකා කිසිදු පැකිළීමකින් තොරව මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට රජය පියවර ගනිමින් සිටී.
අදාළ පනත මේ වසර අවසානයේදී හෝ ලබන වසරේ මුල් භාගයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත අතර, එය ක්‍රියාත්මක වීමත් සමඟම කඳුකර ප්‍රදේශවල සිදුවන පරිසර විනාශයන් පාලනය කර ගැනීමටත් ස්ථාවර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් පුළුල් අවකාශයක් උදා වනු ඇත. මෙමඟින් කලාපයේ පාරිසරික සමතුලිතතාව රැකෙනු ඇතැයි බලාපොරොත්තු වන අතරම, ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් ජාතික සම්පත් සුරක්ෂිත කිරීමේ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියකට අවශ්‍ය ශක්තිමත් ආයතනික රාමුවක් ද නිර්මාණය වනු ඇත.
















