යළි කිසිදු දිනක මෙරට දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් පැන නොනැඟිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ බව දන්වන පාරම්පරික පෙරහැර සන්දේසය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
රාජ්‍යත්වයත්, දළදා වහන්සේත් අතර ඇති අත්හැරිය නොහැකි ඓතිහාසික බැඳීම සහ සංස්කෘතික උරුමය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක පටු අරමුණු හෝ ආරෝවක් පිරිමසා ගැනීම සඳහා මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවන බව පැවසීය. මෙම පෙරහැර මංගල්‍යය අත්හැරීම යනු මුළු ජාතියේම හෘදසාක්ෂිය, අධ්‍යාත්මය සහ ජාතියේ ජීවය මරා දැමීමක් වැනි කුරිරු ක්‍රියාවක් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














