කෘතිම බුද්ධි තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග සිසුන්ගේ ස්වාධීන චින්තනය සහ පරිශීලන හැකියාව පිරිහීම වැළැක්වීමේ පියවරක් ලෙස, චිකාගෝ විශ්වවිද්‍යාලය සිය ප්‍රථම වසරේ සමාජ විද්‍යා මූලික පාඨමාලා සඳහා AI, ලැප්ටොප් පරිගණක සහ ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කිරීමට තීරණය කර ඇති බව ThePrint වෙබ් අඩවිය වාර්තා කරයි.
එළඹෙන අධ්‍යයන වාරයේ සිට ක්‍රියාත්මක වන මෙම නීති මගින් අදාළ දේශන ශාලා තාක්ෂණයෙන් තොර පරිසරයක් බවට පත්කිරීමට අපේක්ෂිතය. සිසුන් තිර දෙස බලා සිටීම වෙනුවට මුද්‍රිත පොතපත කියවීම, අතින් සටහන් තබාගැනීම සහ සෘජු සංවාදවල යෙදීම තුළින් මූලික මනුෂ්‍ය තාර්කික හැකියාවන් සහ විවේචනාත්මක චින්තනය වර්ධනය කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
AI මගින් අසන්නට ලැබෙන පිළිතුරු කෙරෙහි පූර්ණ ලෙස යැපීම නතර කර, තාක්ෂණික උපකරණවලින් තොරව තර්ක කිරීමට සහ අදහස් පළකිරීමට සිසුන්ට මගපෑදීම අධ්‍යාපන ක්ෂේත්රයේ විශාල වෙනසකට මුලපිරීමක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.














