කුරුඳුවත්ත නිදහස් චතුරස්‍රය අසල මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් ධාවනය කළ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පස්වරුවේ මෝටර් රථ හතරක් අදාළ මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය කර ඇති අතර, පොලිසිය වැටලීමක් සිදු කර මොවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමේදී මෝටර් රථ තුනක් පලා ගොස් ඇත. කෙසේ වෙතත්, එක් මෝටර් රථයක් කුරුඳුවත්ත පොලිස් නිලධාරීන් විසින් තම භාරයට ගැනීමට සමත් වී තිබේ.
මෙලෙස පොලිස් භාරයට ගත් මෝටර් රථය ධාවනය කර ඇත්තේ වයස අවුරුදු 20ක පමණ තරුණයෙකි. සැකකරු මත්ද්‍රව්‍ය පානය කර ඇද්ද යන්න සෙවීම සඳහා ඔහුව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර, මෝටර් රථය අධි ධාරිතාවෙන් යුත් වාහනයක් ද යන්න සොයා බැලීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














