ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලි උත්පාදනය සඳහා ලබා දුන් ඉන්ධන සහනාධාරය නතර කිරීම සහ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදී විදුලි ගාස්තු යළිත් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. ඛනිජ තෙල් සංස්ථාව විසින් නැප්තා (Naphtha) සහ එච්.එෆ්.ඕ. (HFO) මිල සියයට 20කින් පමණ ඉහළ දමා ඇති අතර, මීට පෙර විදුලි බල ක්ෂේත්‍රය සඳහා ලබා දුන් සහනදායී මිල ක්‍රමයද අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මෙම ඉන්ධන මිල ඉහළ යාම යටතේ දැවෙන තෙල් ලීටරයක මිල රුපියල් 210 සිට 248 දක්වාත්, නැප්තා ලීටරයක මිල රුපියල් 174 සිට 210 දක්වාත් ඉහළ දමා ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කර ඇත. විදුලි ගාස්තු ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මාස තුනක කාලයකට ස්ථාවර මිලක් යටතේ ඉන්ධන ලබා දීමට 2026 අප්‍රේල් 18 වැනිදා ඇති කරගත් එකඟතාව මේ වන විට අවසන් වී ඇති බව සංස්ථාව විසින් ජාතික පද්ධති මෙහෙයුම්කරු වෙත දැනුම් දී තිබේ.
මෙම ඉන්ධන මිල ඉහළ යාම කැලණිතිස්ස, සපුගස්කන්ද සහ යුගදනවි වැනි ප්‍රධාන තාප විදුලි බලාගාරවල නිෂ්පාදන පිරිවැය ඉහළ නැංවීමට සෘජුවම බලපාන අතර, ඔක්තෝබර් – දෙසැම්බර් කාර්තුව සඳහා වන ගාස්තු සංශෝධන යෝජනාව ලබන සැප්තැම්බර් 04 වැනිදා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පද්ධති මෙහෙයුම්කරුගේ සභාපති ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කර ඇත. රජය ලබා දුන් සහනාධාරය අවසන් වීම හේතුවෙන් ඉහළ ගිය පිරිවැය ගාස්තු සංශෝධනයේදී සැලකිල්ලට ගැනීමට සිදුවන බවද ඔහු පෙන්වා දී තිබේ.
















