රේගුව විසින් වසර 8ක් පුරාවට සිය භාරයේ තබා ගෙන තිබූ වාහන බහුතරයක් මේ වන විට භාවිතයට ගත නොහැකිව විනාශ වී ඇතැයි විගණන වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ. පසුගිය 2025 වසරේ රේගු වාර්ෂික කාර්යසාධන වාර්තාව මගින් මේ බව පෙන්වා දී ඇති අතර, මට්ටක්කුලියේ පෞද්ගලික සමාගමකින් ලබා ගත් ඉඩමක රඳවා ගත් වාහන 329ක් සහ රුහුණුපුර වරාය භූමියේ තිබූ වාහන 108ක් මෙලෙස දිරාපත්ව ඇත.
මෙම වාහන අංගනවල දිගුකලක් ගාල් කර තැබීම හේතුවෙන් ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති අතර, මේ නිසා ඒවා වෙන්දේසි කිරීමෙන් පවා සාධාරණ මුදලක් ඉපයීමට නොහැකි වී තිබේ. රේගු ආඥා පනතේ 109 වගන්තිය ප්‍රකාරව නිසි ලෙස කටයුතු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
මීට අමතරව, වැරදි ඉන්වොයිස් පත්‍ර ඉදිරිපත් කර රජයට ගෙවිය යුතු බදු මුදල් අහිමි කිරීමේ සිදුවීම් කිහිපයක්ද මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ. ආනයනික වාහන කිහිපයකට අදාළව අඩු වටිනාකම් දැක්වීම හේතුවෙන් රුපියල් මිලියන 26කට අධික බදු ආදායමක් සහ නියැදි පරීක්ෂාවට ලක් වූ තවත් වාහන 29ක් හරහා රුපියල් මිලියන 88කට අධික බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව වාර්තා වේ.
















