මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග නැමැත්තා ඩුබායිහිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ‘බස් ලලිත්’ නැමැත්තා අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් සඳහා ඩුබායි රාජ්‍යයට ගිය මෙරට විමර්ශන කණ්ඩායම් විසින් ලබා දුන් තොරතුරු මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය තිබී ඇති අතර, ඔහු සමඟ තවත් පිරිසක්ද එරට පොලිසිය භාරයට ගෙන තිබේ. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට (විශේෂයෙන් ගංජා ජාවාරමට) සම්බන්ධ වැල්ලේ සාරංගට එරෙහිව මිනීමැරුම් සහ බරපතළ අපරාධ චෝදනා රැසක් පවතී…
2018 පෙබරවාරි 15 මෝදර ලෙල්ලම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍යවලට විරුද්ධ වූ කාන්තාවකට වෙඩිතබා ඝාතනය කිරීම.
2017 මැයි 30 තියුණු ආයුධයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය මඟින් අත්අඩංගුවට පත්වීම.
2017 ජූලි 04 මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවාස 6කට සහ ත්‍රි රෝද රථ 6කට හානි සිදු කර අනර්ථය කිරීම.
2018 පෙබරවාරි 15 මට්ටක්කුලිය ප්‍රදේශයේදී 15 හැවිරිදි පිරිමි දරුවෙක් පැහැරගැනීම.
2022 අප්‍රේල් 20 රුසියාවේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ දෙකක් සමඟ බ්ලූමැන්ඩල් පොලිසිය මඟින් අත්අඩංගුවට පත්වීම.
අනීතික අයුරින් විදෙස්ගත වීමට උත්සාහ කිරීමේදී 2020 වසරේදී මෙරට ආරක්ෂක අංශ භාරයට පත්ව තිබූ මොහු, පසුව මෙරටින් පලාගොස් ඩුබායිහි රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ වෙත මෙතෙක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවද වාර්තා වේ.
















